ඇන්තූරියම් වගාව

     ගෙවතු අලංකරණය සඳහාත්, දේශීය වෙළඳපොල සඳහාත්, අපනයනය සඳහාත් වශයෙන් ඇන්තූරියම් මල් වගාවට යහපත් ඉල්ලුමක් පවතී. බොහෝ මල් වර්ගවලට කලින් කලට ඇති ජනප්‍රියතාවය වෙනස් වෙමින් පැවතියත් ඇන්තූරියම් මල සඳහා ඇති ඉල්ලුම හා ජනප්‍රියත්වය දීර්ඝ කාලයක සිට නොවෙනස් ව පැවතීම වි‍‍‍‍ශේෂ කරුණකි. එහි ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය වෙමින් පවතී. දිරිමත් ඔබට ‍සාර්ථකවීමට ඇන්තූරියම් මල් වගාව වඩාත් සුදුසු ස්වයං රැකියාවකි. 

ඇන්තූරියම්  ශාඛය  
(1)            මල් සඳහා වගා කරන ඇන්තූරියම් 
(2)            පත්‍රවල විචිත්‍ර බව නිසා වවන ඇන්තූරියම්
යනුවෙන් වර්ග දෙකක් දක්නට ඇතත් වඩාත් වගා කෙරෙන්නේ මල් සඳහා වන ඇන්තූරියම් වර්ගයයි.

ඇන්තූරියම් සඳහා දේශගුණික අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට අඩි 4000 දක්වා කලාප‍යේ ඇන්තූරියම් වගාව හොඳින් කල හැක. මෙය සෙවණ ප්‍රිය කරන ශාඛයක් බැවින් 60%ත් 70%ත් අතර සෙවණ සැපයීමක් කළ යුතු ය. ඇන්තූරියම් ශාඛය සෙවන වැඩිපුර අවශ්‍ය වන පැලෑටියක් බැවින් ස්වභාවික සෙවණ ස්ථානයක වගා කිරීම හෝ කෘත්‍රිම ක්‍රමයට ලණු පැදුරු හෝ සෙවණ දැල් මගින් සෙවණ ලබා දීම කළ යුතු ය.
                 උෂ්ණත්වය     -      සෙ: 25º ද
                 අර්ද්‍රතාවය       -     75% ද
ජලය බැස යන සවිවර පසක් ද ඇන්තූරියම් වගාවට අවශ්‍යය.

පැළය බඳුන් ගත කර සිටුවීම
වගාව සඳහා යොමු වන ආධුනිකයෙකු වගාව කිරීමට සුදුසු තත්ත්වයේ ඇන්තූරියම් පැළ, පැළ විකුණන ස්ථානයකින් සපයා ගත යුතු ය.
(වගා කිරීමට අවශ්‍ය පැළ තමන් විසින් ම සකසා ගැනීම පිළිබඳ ව පසුව විස්තර කෙරේ.) 
එසේ සපයා ගත් පැළවල වැඩිපුර ඇති මුල් කපා දමා කැප්ටාන් දිය කළ බඳුනක වි. 5ක් ගිල්වා තබා පැළ බඳුන් ගත කිරීම සුදුසු ය. පැළ බඳුන් ගත කිරීම සඳහා සෙ.මී.30 ක විෂ්කම්භයක් ඇති බඳුන් තෝරා ගත යුතු ය. බඳුනෙහි යට ඇති සිදුරු මත අඟල් දෙකක් පමණ උසට උළු හා ගඩොල් කැබලි ද ඊට උඩින් දිරාපත් වූ කොළ රොඩු ද ඒ මත ඇන්තූරියම් පොහොර මිශ්‍රණයක් ද අතුරා පැළ බඳුන් ගත කළ යුතු ය. බඳුනෙහි උඩ අඟලක පමණ කොටසක් ඉතිරි ව තිබෙන්නට ඉඩ හල යුතු ය.            
  • ඇන්තූරියම් පොහොර (කාබනික)
  • කොල ‍පොහොර  කොටස්  2        
  • වියලි ගොම කොටස් 1      
  • කොහු බත් කොටස් 2      
  • වැලි  ½  අඟුරු කොටස් 1
  • ඇන්තූරියම් පොහොර (රසායනික)
  • යූරියා කි.ග්‍රෑ. 3 ½             
  • සාන්ද්‍ර සුපර් පොස්පේට්  කි.ග්‍රෑ. 7                          
  • මියුරේට් ඔෆ් පොටෑෂ්  කි.ග්‍රෑ.4
(රසායනි පොහොර ඉහත සඳහන් අනුපාතයට මිශ්‍ර කර ගිණි පෙට්ටි  පියනකින් එකක්, පැළ තුනකට පමණ වන සේ පැළ සිටුවා සති තුනකට පසු යෙදීම සුදුසු ය. ‍පොහොර යෙදීම බඳුන් දාරය ආසන්නයේ පැළවලට ඈතින් සිදු කළ යුතු ය.)
පොහොර ‍යෙදීම මසකට වරක් ද, මල් හට ගන්නා විට සති දෙකකට වරක් ද උදය කාලයේ දී ජලය යෙදීමෙන් අනතුරුව කළ යුතු ය. කාබනික පොහොර යෙදීම මාස 3කට වරක් සිදු කිරීම ප්‍රමාණවත් ය. මෙසේ සිටුවා ගත් බඳුන් සෙවණ ඇති තැන්වල තබා නඩත්තු කළ යුතු ය.

පැළ පාත්තිවල සිටුවීම
ඇන්තූරියම් පැළ පාත්තිවල සිටුවන්නේ නම් ආකාර දෙකකට සිටුවීම කළ හැක.   

  • කාණු ඉදිකර වගා කිරීම 
  • පාත්ති සකසා වගා කිරීම
යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය අනුගමනය කළ ද කෘත්‍රිම ක්‍රමයට සෙවණ සැපයීම කළ යුතු ය. කාණු ඉදිකර වගා කරන්නේ නම් සමතල භූමියක සෙ.මි.25-30 ගැඹුරැති කාණු සකසා එහි අඩියට ගඩොල් කැබලි තට්ටුවක්  යෙදිය යුතු ය. ඉන් පසු වේයන් මර්ධනය සඳහා රසායනික ද්‍රව්‍යයක් යෙදිය යුතු ය. ගඩොල් මත පොහොර මිශ්‍රණය  අතුරා දින 5කට පසු පැළ සිටුවීම කළ හැක. පාත්ති ක්‍රමයට වගාකරන්නේ නම්  සෙ.මි.25 ක් පමණ ගැඹුරට පස බුරුල් කර පාත්ති සකස් කර පොහොර යොදා කෘමින් මර්ධනයට පියවර ගත යුතු ය. ඉන් පසු පැළ අතර පරතරය අඩි දෙකෙන් දෙකට වන සේ පැළ සිටු වීම සුදුසු ය. පොහොර යෙදීම, ජල සම්පාදනය, වල් මර්ධනය ක්‍රමවත් ව කළ යුතු ය.
පලිබෝධයන්ගෙන් ආරක්ෂා කර ගැනීම
ගොලු බෙල්ලන්, මයිටාවන්, පත්‍රකන පණුවන්, පිටි මකුනන්, කූඩිත්තන් වැනි පලිබෝධයන් ඇන්තූරියම් පත්‍රවලට, අංකුරවලට, මල්වලට හානි කරන බැවින් ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතු ය.

අස්වැන්න නෙළා ගැනීම
හොඳින් වැඩුනු පැළයකින් මාස 8ක දී පමණ පළමු මල ලබා ගැනීමේ හැකියාව ඇත. මලක් සති 4 කදී පරිනත වන බැවින් එම කාලය තුළ නෙලා ගැනීම කළ යුතු ය.වසරක දී මල් 8ක්-10ක් පමණ ලබා ගත හැක. ඇන්තූරියම් මල රතු සුදු රෝස තැඹිලි යන වර්ණ වලින් ද රතු කොළ මිශ්‍ර (BY colour) වර්ණයෙන් ද දක්නට ඇතත් වැඩි ඉල්ලුමක් ඇත්තේ රතු පැහැති වර්ණ මල්වලට ය. කැපූ මල් කර්මාන්තයේ අපනයනය සඳහා බහුල ව භාවිතා කරන්නේ ද රතු පැහැති මල් ය.
ඇන්තූරියම් මල් වල වැඩි ඉල්ලුමක් ඇත්තේ හෘදාකාර රවුම් මල්වලට ය. කොලපුවේ උඩ සහ යටි පෘෂ්ඨවල සමාන රතු පැහැයක් තිබීම අවශ්‍යය.


ඇන්තූරියම් පැළ ප්‍රචාරණය (බෝ කර ගැනීම)  
ඇන්තූරියම් පැළ ලබා ගැනීම ක්‍රම දෙකකට සිදුකල හැක.
  වර්ධක ප්‍රචාරණ
  ලිංගික ප්‍රචාරණය
වර්ධක ප්‍රචාරණය
වර්ධක ප්‍රචාරණය යනු පැළ ලබා ගැනීම සඳහා කඳ කැබලි සිටුවීම සහ මොරෙයියන් සිටුවීමයි. පහත දී ඇති රූප සටහන් මගින් දක්වා ඇති පරිදි මොරෙයියන් හෝ කඳ කැබලි සිටුවීම මගින් පැළ ලබා ගැනීමට  හැකි වුවත් කෙටි කල දී මෙම ක්‍රමය මගින් පැළ විශාල ප්‍රමාණයක් ලබා ගැනීම අපහසු ය.

ලිංගික ප්‍රචාරණය
ලිංගික ප්‍රචාරණය මගින් එනම් මල් පරාගනය කර ලබා ගන්නා බීජ (ඇට) මගින් පැළ විශාල සංඛ්‍යාවක් ලබා ගත හැක. මේ සඳහා රෝග, පලිබෝධ වලින් තොර වැඩි ඉල්ලුමක් සහිත මව් ශාඛ තෝරා ගත යුතු ය. මල් පරාගනය සඳහා සුදුසු තතත්වයේ මල් දෙකක් අවශ්‍ය වේ. ඇන්තූරියම් මලක කොටස් දෙකක් ඇත. එනම් කොළපුව සහ ඡද්‍ර ශුතියයි.
පරාගනය සඳහා තෝරා ගන්නා මලෙහි කොළපුව දිග හැරී දින 7-10 අතර කාලයේ දී පරාගනය කළ යුතු ය. මේ අවස්ථාව වන විට ඡද්‍ර ශුතියෙහි ඇලෙන සුළු සුදු පැහැති පරාග දැකිය හැකි අතර ඒවා පින්සලක ආධාරයෙන් පීරිසියකට එකතු කර ගත යුතු ය. එම පරාග ඒ අවස්ථාවේ ම තෝරා ගත් අනෙක් මලෙහි ඡද්‍ර ශුතිය මත තැවරීම කළ යුතු ය. දින දෙක තුනක් මෙම ආකාරයට පරාග තැවරීම කළ යුතු අතර එසේ කළ සෑම විටක ම පොලිතීන් ආවරණයකින් මල ආවරණය කළ යුතු ය.
පරාගනය සාර්ථක වූ මල්වල ඡද්‍ර ශුතිය ක්‍රමයෙන් මහත් වීමටත් කොල පැහැයට හැරීමටත් පටන් ගනී. මාස 5ක්-6ක් කාලයේ දී මේරූ ඇන්තූරියම් ඇට තැඹිලි පැහැයෙන් ජල්ලිමය ආකාරයෙන් දැකිය හැක. එම ඇට මලෙන් ඉවත් කර ගෙන ඉතා හොඳින් සෝදා ජල්ලි ඉවත් කර කොන්ඩිස් ද්‍රාවණයකින් ද ‍සෝදා බීජ පැලවීමට සුදුසු මාධ්‍යක් ‍යෙදූ නොගැඹුරු මැටි බඳුන්වල තැන්පත් කළ යුතු ය. එය තුලට ජලය ස්වල්පයක් එක් කිරීම ද කළ යුතු ය.
එලෙස බීජ තැන්පත් කල මැටි බඳුන ජලයෙන් යට නොවන සේ තවත් ඊට වඩා ලොකු ජලය දැමූ බඳුනක් තුළ බහා වීදුරු තහඩුවකින් වසා සුදුසු තැනක සති 4ක් පමණ තිබෙන්නට හැරිය යුතු ය. සති 4ක දී බීජ පැලවීම ආරම්භ වේ. එවිට වීදුරු තහඩුව ඉවත්කර පැලවලට වර්ධනය වීමට ඉඩ හළ යුතු ය. මෙම පැළ තරමක් වැඩුණු පසු පාත්තිවල සිටු විය යුතු ය.
ම‍ෙ‍ලසින් පියවරානුකූල ව වගාව පවත්වා ගත යුතු ය.  


4 comments: